මානව චින්තන විප්ලවය


මානව සමාජයේ මුල් කාලයේ සිට චින්තන විප්ලවය සිදුවන කාල පරාසය දක්වා මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් සංවිධිත ජ්වියෙක් බවට පත්වීමට මූලිකම හේතුව වූයේ එකිනෙකා සමග අදහස් හුවමාරුකර ගැනීමට දියුණු භාෂාවක් ගොඩනංවාගැනීම නිසාය. වෙනත් සතුන් අතරත් භාෂාවන් භාවිතා වුවත් ඒවා සීමිත ශබ්ධ ගණනාවකින් යුතුවු ප්‍රාථමික භාෂාවන්ය. මානව සමාජයේ මුල් කාලයේ පටන් මේ වනතුරුත් මානව භාෂාව දියුණු වීමටත් සංවිධිත සමාජයක් ඇතිවීමටත් බොහෝ සෙයින් උපකාරීවී ඇත්තේ මානවයා සතු ඕපාදූප (Gossip)හෙවත් කටකතා පැවසීම සහ ඇසීමට ඇති කැමැත්තයි. නමුත් ඕපාදූප හරහා වුවත් මානව කණ්ඩායමක් හෝ එක් ගෝත්‍රික කණ්ඩායමක් එකට රඳාපවත්වා ගැනීමේ සීමාවක් තිබෙනවා. පර්යේෂකයන් පවසන ආකාරයට මෙය උපරිම 150 ක පිරිසකට සීමා වෙනවා. අතීත මානව ගෝත්‍රික කණ්ඩායම් මෙම විශේෂිත සංඛ්‍යාව ඉක්මවූයේ කලාතුරකිනි. අතීත මානව ගෝත්‍රික කණ්ඩායමක් මෙම ඉලක්කයට ලඟාවූවිට එයින් මිදී නව කණ්ඩායමක් බවට පත්වීම නිරායාසයෙන්ම සිදුවූවා. අතීතයට පමණක් නොව වර්තමානයේ පවා මිනිස් කණ්ඩායමක් මෙම විශේෂිත සංඛ්‍යාව පසුකරනවිට එම කණ්ඩායම බිඳවැටීම ආරම්භවනවා. ඔබගේ සේවා ස්ථානය හෝ මිතුරු සමාගම් වලදී වුවත් එය එසේම සිදුවීමට වැඩි ඉඩක් පවතිනවා. එසේනම් මානවයින් මේ ආකාරයට නගර ගොඩනගමින්, රාජධානි ඇතිකරගනිමින් විශාල රාජ්‍යයන් පාලනය කිරීමට හැකිවුනේ කෙසේද යන පැනය ඔබට පැණ නැගෙනවා ඇති. මේ ආකාරයේ ඉතා විශාල මිනිස් සමූහයක් එකට සංවිධානය වීමට මානවායාට හැකියාව ලැබුණු ප්‍රධානම සාධකය පොදු මිත්‍යාවයි. 

ඕනෑම විශාල සංවිධිත සමාජයක ගතහොත් මෙම පොදු මිත්‍යාවක් පාදක වී තිබීම අපිට දැකගන්න පුලුවන්. නවීන රාජ්‍යක් වුවත්, ආගමික සමාජයක්, පැරණි නගරයක වුවත් එසේ මුල් බැසගත් පොදු මිත්‍යාවක් තිබීම මූලික ලක්ෂණයකි. පල්ලිය යනු ඒ ආකාරයේ ආගමික මිත්‍යාවක් තුලින් මිනිසුන් එක්සත් කරන ලද ව්‍යුහයකි. කිසිදා හමුනොවූ කතෝලිකයන් දෙදෙනෙකුට කිසිදු හඳුනාගැනීමකින් තොරව පල්ලියක්, රෝහලක් ගොඩ නැගීමට මෙන්ම කුරුස යුද්ධයකට වුවත් සහභාගීවීමට හැකියාව ලැබී ඇත්තේ දෙවියන් කුරුසයේ දිවි පුද කලේ ඔවුන්ගේ ගැලවීම උදෙසාය යන පොදු මිත්‍යාව පිළිගැනීම හේතුවෙනි. නොහඳුනන ලාංකිකයන් දෙදෙනෙකු විදෙස් රටකදී එකිනෙකාට උදව්කරගන්නේද ඔවුන් දෙදෙනාම ලංකාව යන රාජ්‍යය පිළිගැනීම හේතුවෙනි. නීතිය යනුවෙන් දෙයක් තිබෙනා බව පිළිගැනීම හේතුවෙන් නොහඳුනනා නීතිවේදීන් දෙදෙනෙකුට නඩු ක්‍රියාමර්ගයක් වෙනුවෙන් එක වැඩකිරීමට හැකියාවක් ලැබෙනවා. පුන් පොහෝ දිනයක ගෝත්‍රිකයන් එක්වී ගිණිමැලයක් වටා නටමින් ගමන් කිරීමත් නඩු කටයුත්තක් වෙනුවෙන් නීතිවේදීන් එකතු වීමත්, ඉරිදාට පල්ලියට එකතුවී ගීතිකා ගැයීමත් එකම ආකාරයේ විශ්වාසයන් මත පිහිටා සිදු කරනා දේවල්ය. 


මේ වනවිට ලොව පුරා පවතින බහු ජාතික සමාගම්ද මේ ආකාරයෙන්ම ඇතිවුනු ඒවා ලෙස හඳුනාගන්න පුලුවන්. සමාගම් බිහිවීමට පෙර ඔබ යම්කිසි නිශ්පාදනයක් හෝ සේවාවක් ලබා දෙනවානම් එයට අසීමිත ලෙස බැදී සිටිය යුතුව තිබුනා. ඔබ නිපදවන කරත්තය ප්‍රමිතියෙන් බාල වුවානම් එයට ඔබ පුද්ගලිකව වගකිවයුතුවුනා. ව්‍යාපාරය බංකොලොත් වුවහොත් ඔබ බංකොලොත් වීම නොවැලැක්විය හැකි කරුණක්. නමුත් වර්තමාන සමාගම් තුලදී ව්‍යාපාරය සහ ව්‍යාපාරිකයා එකිනෙකාගෙන් ස්ව්‍යායත්ථය වනවා. සමාගම යනුවෙන් දෙයක් ඇති බවට තිබෙනා පොදු මිත්‍යාව නිසා සමාගම ලබාගත් ණයකට ව්‍යාපාරිකයාට ඇති බැදීම සීමා සහිත වනවා. සමාගම නිපදවන මෝටර් රථයක් අසාර්ථක වුවහොත් නීතිප්‍රකාර කටයුතු සිදුවන්නේ සමාගමට මිසක් එහි හිමිකරුවන්ගේ නමින් නොවේ. 


මිනිසාගේ චින්තන විප්ලවයෙන් පසු සෑම විටම මිනිසා යථාර්තයන් දෙකක් තුල ජීවත් වීමට පටන් ගත්තා. සැබෑවටම පවතින ගහ කොළ, සත්වයන්, කඳුවැටි අතරේ දෙවියන්, රාජ්‍යය, සමාගම් වැනි මනසින් සාදාගත් යථාර්තයක් තුලත් ජීවත් වීමට පටන්ගත්තා. මානවායාගේ මෙම පොදු මිත්‍යාව සැබෑ යථාවට වඩා මේ වනවිට බලවත්ව තිබෙනවා. ගහකොළ, සත්වයන් සහ භූමියේ ඉරණම විසඳෙන්නේ මෙම පොදු මිත්‍යාවන්ට අදාල ආකාරයෙනි.


Sapiens: A Brief History of Humankind කෘතිය ඇසුරෙනි.

Comments

  1. මුදලුත් මිත්‍යාවක් එක අතකට බලනකොට . හොඳ ලිපියක් . හිතන්න දෙයක් තියෙනවා අපිට අපි ගැනම .

    ReplyDelete

Post a Comment