Komaali Kings - ලාංකීය ද්‍රවිඩ සිනමාවේ පුනරාගමනය



එදිනෙදා ජීවිතයේදී හාස්‍යය අපි මුහුණදෙන  සෑම සිද්ධියකදිම අත්විඳින්න ලැබෙනවා. ඉතාම අවාසනාවන්ත සිදුවීමකදි වුනත් එහිත් යම් හාස්‍යයක් දැකිය හැකි පුද්ගලයන් අනන්තවත් අපිට හමබ්වෙලා තියෙනවා. නමුත් ලංකාවේ සිනමාවේදී හාස්‍යය කියන්නෙ දිගුකලක සිටන්ම ඛේදවාචයක් බවට පත්වෙලයි තියෙන්නෙ. පසුගිය දශක දෙක පුරාවට මනාව ඉදිරිපත් කරන ලද හාස්‍යය (comedy) සිනමාපට කීයක් ඔබට මතක් වෙනවාද ?
"සිකුරු හතේ"  පමණක් මතකයට නැගෙනවා නොඅනුමානයි. ඉන් පසු හාස්‍යය රැල්ලෙ සිංහල චිත්‍රපට නැවතුනු ආකාරයක් හැඟී යනවා. ඒ වෙනුවට ප්‍රධාන ධාරාවේ චිත්‍රපට විසින් එම චිත්‍රපට බැලීම කෙතරම් හාස්‍යය ජනකදැයි සිහි කැඳවූ අවස්ථානම් දකින්න තිබුනා. කෙසේ හෝ මේ අඩුව පුරවාලීමට සමත් චිත්‍රපටයක් අද සිට සිනමා ශාලා ආක්‍රමණය කිරීමට සූදානමින් සිටිනවා. ඉතාමත් සුවිශේෂී කාරණය වන්නේ මෙය ශ්‍රී ලංකාවේ නිශ්පාදිත දමිල සිනමාපටයක් වීමයි. වසර 42 කට පසු දමිල අධ්‍යයක්ෂකවරයෙක් නිර්මාණය කරනු ලබන ද්‍රවිඩ චිත්‍රපටයක් රස විදීමට ලාංකීය සිනමා රසිකයන්ට ලැබෙන මේ අවස්ථාව අපේ සිනමා වංශ කතාවේ සංධිස්ථානයක් වනු නොඅනුමානයි. ලාංකීය සිනමාව ගැන කතා කරන විට සිංහල චිත්‍රපට බවත්, ද්‍රවිඩ සිනමාව යනු දකුණු ඉන්දීය චිත්‍රපට බවටත් දීර්ඝකාලීනව පැලපදියම් වී තිබූ මතය බිඳ දමමින් අපේම අනන්‍යයතාවය සහිත ද්‍රවිඩ සිනමාවක පුනරාගමනය මෙයින් සනිටුහන්වනු ඇත. 
චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැගී ඇත්තේ අපි අනන්තවත් දැක ඇති කප්පම් පිණිස පුද්ගලයන් පැහැරගැනීමේ ප්‍රධාන සිදුවීමත් ඒ අවට ගොඩ නැගෙන හාස්‍යමය සිදුවීම් ජාලයක් වටාත්ය. අපිට දැක හුරුපුරුදු තේමාවක් වුවත් ලංකාවේ සමාජයට ගලපාගැනීම හා ලංකාවේ ජීවිතය මග හැරුණු පුද්ගලයෙක්ගේ කතා පුවතක් හඳුන්වාදීම නිසා අනන්‍යය වූ කතාවක් ගොඩනාගා ගැනීමට නිර්මාණකරුවන් සමත්වී තිබෙනවා.
අධ්‍යයක්ෂකවරයාම ප්‍රධාන චරිතය නිරූපනය කරන මෙහි රංගනයේ යෙදෙන අනෙක් ආධුනික නළුනිලි කැලගේ රඟපෑම් ආධුනික ස්වභාවයක් දිස් නොවන අතර චරිතය උදෙසා මනාව ගැලපෙන නළුනිළියන් තෝරාගැනීම ඉතාම සාර්තකව සිදුකර තිබෙනවා. විශේෂයෙන්ම රාජා ගනේෂන් සහා දයා වයමන් දෙපලගේ හාස්‍යෝත්පාදක රංගනය මතකයේ රැදී තිබෙනු ඇත. 

නාමාවලිය ඉදිරිපත් කිරීමේ සිටම දිගහැරෙන විචිත්‍ර ග්‍රැෆික් සටහන් මෙන්ම චරිත හඳුන්වා දීමේදී නවමු ආකාරයකින් ඉදිරිපත් කිරීම ඉතාම ආකර්ශණීය ස්වභාවයක් උසුලනවා.රූපරාමු දෙකක් ඡේදනය වන අවස්ථාවන් වලදී සහ එකම රූප රාමුවේ සිදුවීම් කිහිපයක් පෙන්වන අවස්ථාවලදී මින් පෙර කිසිදු ලාංකීය සිනමා පටයක නොවිදී ආකාරයේ නවමු අත්දැකීම් ඔබට දැකගත හැකිවනු ඇත. අනෙක් වැදගත්ම කරුණ චිත්‍රපටයේ සංගීතය සහ ගීත රචනයයි. රූපරාමුවට අදාලව පසුබිම් සංගීතයේදී අසා හුරු පුරුදු දකුණු ඉන්දීය ඛණ්ඩ වරින්වර යොදාගෙන තිබුනත් සමස්තයක් විදියට සතුටුවිය හැකි ආකාරයට නිර්මාණයවී තිබුනා.
ලංකාවේ නැගෙනහිර සහ උතුරු පළාත්වල මනරම් භූමි දර්ශණ විශාල ප්‍රමාණයක් පෙර නුදුටු කැමරාකෝණ වලින් හසුකරගෙන තිබීම චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂක ආකර්ශණයට හේතුවනවා නොඅනුමානය. ඉතා සියුම් සිදුවීම් වලිනුත් හාස්‍යය මතුකරගැනීමට අධ්‍යයක්ෂකවරයා සමත්වී තිබෙනවා. උදාහරණයක් ලෙස විනෝදචාරිකාව අතර මුහුදු වෙරළේ දර්ශණ සහ පැහැරගැනීමෙන් අනතුරුව සිහුවන දර්ශණ පෙනවා දිය හැක. තවත් මතක සිටින අවස්ථාවක් නම් නිවස තුල ඇතිවන දෙබස් ඛණ්ඩ සහ අමතර පංතියේ ඉගැන්වීමේදී ඇති දෙබස් එකවර සමපාතව හාස්‍යය ඇතිවන ආකාරයෙන් ගොඩනගා තිබීමයි, මෙම සිදුවීම ඔබට චිත්‍රපටය නැරඹීමේදී අවබෝධ වනු ඇත. 

දමිල චිත්‍රපටයක් ලෙස මෙහි වැදගත්ම දෙය නම් ලාංකීය ද්‍රවිඩ අනන්‍යයතාවයක තේමාවක් සහිතව ඉදිරිපත් කිරීමයි. විදේශයක ජීවත්වීමේදී අහිමිවන දේශීය අත්දැකීම් මෙන්ම විදේශයකදී අහිමිවූ ලාංකීය ජීවිතයේ සරල බව මතුකිරීම තුල ලාංකික ද්‍රවිඩ සමාජයට පමණක් අනන්‍යය නොවූ කාරණාද ඉස්මතුකිරීමට නිර්මාණකරුවා වෙහෙසී තිබෙනවා. කාන්තා නිදහස සහ ද්‍රවිඩ සමාජයේ දැඩිව තිබෙනා දෑවැදි සම්බන්ධ කාරණා සම්බන්ධව විවේචනාත්මක ඉදිරිපත්කිරීමක් අවසන් භාගයේ දැකගන්න පුලුවන්. 

චිත්‍රපටයේ ප්‍රචාරක පටයෙන් ඇති කල බලාපොරොත්තු බිඳ නොවැටුනු චිත්‍රටපටයක් දැක ගැනීමට හැකිවීමම භා‍ග්‍යයකි. ලාංකීය සිනමාවක ඉදිරිදැක්මක් බලාපොරොත්තුවන සැම නැරඹියයුතුම චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.