සිහින රැකියාව



ලඟදි දවසක මම ෆේස්බුකියෙ තියෙන අධි ක්‍රියාකාරීත්වයකින් යුතු Genius club සමූහයේ ප්‍රශ්ණයක් ඇහුවා තම තමන්ගෙ Dream Job එක මොකක්ද කියලා. වැඩිහිටි කවුරුත් විවිධාකාර රැකියාවල නියුතුව සිටින නිසා කොහොමත් මේ වගේ ප්‍රශ්ණයක් ටිකක් හිට් වෙන එකක් බව දැනුනා මුල ඉඳලම. විවිධ විවිධ පුද්ගලයන් 150ක් පමණ විවිධාකාර රැකියාවන් ප්‍රකාශ කරලා තිබුනා.  දැනට ඉංජිනේරු අංශයට සම්බන්ධ රැකියාවක නිරතවන මම මගේ සිහින රැකියාව විදියට එහි සඳහන් කලේ මොන්ටිසෝරි ගුරුවරයෙක් යන්නයි. මේ හැමෝම පල කරපු අදහස් දැක්කම මට හිතුන දේවල් ටිකක් කියාගන්න තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිතුනෙ. 

ටීචර් ඇවිත් ඉස්සර පංතියෙ ලමයින්ගෙන් ඇහුවම ලොකුවුනාම වෙන්න කැමති කවුද කියලා අපි හැමෝම වගේ කිව්වෙ සීමිත රැකියා ප්‍රමාණයක්. සමාජයේ හොද ජොබ් යැයි සම්මත රැකියා වන ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක් නැත්නම් ලෝයර් කෙනෙක්. කලාතුරකින් හමුදා සෙබලෙක් , ටීචර් කෙනෙක් වෙන්නත් කැමතියි කියන අයත් ඉන්නවා. නමුත් ඇත්තටම මේ කිසිම දෙයක් පාසල් කාලයෙදි අපි හිතල මතල කියන දේවල් නෙවෙයි. දෙමව්පියන් හරි වෙනත් වැඩිහිටියෙක් උඹ වෙන්න ඕන මෙන්න මෙහෙම එකෙක් කියල තරවටු දීපු වෙලාවක ඇහුණු දෙයක් තමයි ඒ කියන්නෙ. අපි පොඩි කාලෙදි එහෙම ලොකු ලොකු රැකියා ගැන කිව්වට ඇත්තටම මේ මම දාපු පෝස්ට් එකේ හිටපු වැඩිහිටියන් බොහොමයකට ඕන වෙලා තිබුනෙ අර දෙමව්පියන් කියපු රැකියා නෙවෙයි. මේ තියෙන්නෙ එහෙම සදහන් වුනු රැකියා කීපයක්.


කෝච්චි ඩ්‍රයිවර් , Florist , හෝටලයක ගිටාර් වාදකයෙක්, ගොවිතැන, ගල් රෝලක ඩ්‍රයිවර් කෙනෙක්, Craftman, රහස් පොලිස් නිළධාරියෙක්, නව නිපැයුම්කරුවෙක්, සංචාරක මාධ්‍යවේදි, ලේඛකයෙක්, ජනමාධ්‍යයවේදියෙක්, කෘෂිකර්ම උපදේශකයෙක්, පුරාවිද්‍යා නිළධාරිවරයෙක්. ... 


මෙන්න මේ වගේ රැකියා බහුතර ප්‍රමාණයක් තිබුනෙ. අපි ටිකක් හිතල බැලුවොත් අර මුලින් කියපු දොස්තර කෙනෙක් වෙනවට වඩා සාපේක්ෂව ඉටු කරගැනීමට පහසු සිහින රාශියක් තමයි දකින්න තිබුනෙ. මේ රැකියා නම කල අය අතරත් ඉංජිනේරුවරු හා දොස්තරවරු හිටියා. එහෙම කල්පනා කරල බලද්දි මට හිතුනෙ අපි ගොඩදෙනෙක් ඇත්තටම කරලා තියෙන්නෙ අපි අකමැති ඒත් සමාජය බලාපොරොත්තුවෙන රැකියාවකට අපේ අවධානය යොමු කිරීම. ඒකට එක හේතුවක් තමයි සිසුන්ට උසස්පෙළට විෂයන් තෝරා ගන්නා වයස එනකොටත් මේ සමාජය හා එහි සැකැස්ම පිළිබඳ අවබෝධයක් නොමැතිවීම. ඇත්තටම කිව්වොත් දැන් උසස් පෙළට ඇතුල්වෙද්දිත් සිසුවෙක්ට සමාජ ආශ්‍රය බහුලව ලැබුනත් නිසි මාර්ගෝපදේශනයක් නොලැබීම මේකට හේතුව වෙන්න පුලුවන්. උසස් පෙළට ගණිත අංශය තෝරා ගැනීමෙන් අහිමිවන රැකියා විශාල ප්‍රමාණයක් තියෙන්න පුලුවන්, ඒ වගේමයි ජීව විද්‍යා අංශය තෝරා ගැනීමෙන් අහිමිවන තවත් රැකියා ප්‍රමාණයක් තියෙන්න පුලුවන්. ඒ නිසා පසු කලක සිසුවාට දැනුනොත් ඔහුට හොදටම කරනන් පුලුවන් රැකියාව වෙනත් එකක් බව කණගාටුවෙන් වුවත් ඔහුට එය තොරාගැනීමට අවශ්‍යය මූලික සුදුසුකම ඔහුට උසස්පෙළින් අහිමිවෙලා තියෙන්න පුලුවන්. ලංකාවේ විශ්වවිද්‍යයාල පද්දතියේ පවතින සීමිත පාඨමාලා අතරින් තෝරාගැනීම් සිදුකලයුතු නිසාත් මෙය තවත් සංකීර්ණ වෙනවා. එක්තරා විදියකට නිදහස් අධ්‍යාපනයේ දුර්වලතාවයක් ලෙසත් මෙය සලකන්න පුලුවන්. ඉංජිනේර්වාට වඩා දක්ෂ කාර්මිකයන් අපට හමුවන්නේ මෙවැනි හේතු නිසයි. 


තමන් අකමැති රැකියාවක ජීවිතකාලයම සේවය කරනන් ලැබෙන එක ඉතාමත් කටුක අත්දැකීමක්, රැකියාව පිලිබද උනන්දුව අඩුවීම, සහ පශ්චත්තාපීව කල් ගෙවීමෙන් ජීවිතයම නීරස වෙන්න පුලුවන්. මෙම තත්වයන් වළක්වා ගන්න නම් පාසල් අවධියේදීම සිසුවා දක්ෂ, උනන්දුවක් දක්වන, කැමත්ත ඇති අංශයකට යොමු කරන වැඩපිළිවෙලක් අවශ්‍යය වෙනවා. මේ වෙනුවට දැන් වෙන්නෙ මව්පියන්ගේ කැමැත්ත මත අධ්‍යායාපනයට අදාල තීරණ ගන්න එක. 



හෝටලයක ගිටාර් ගහන්න කැමති කෙනෙක්ට කෙතරම් වැටුපක් ලැබුනත් අකමැති රැකියාවක යෙදෙන්න වීමෙන් නිසි ඵලදායීත්වයක් ලබනන්ට හැකියාවක් නෑ. සෑම රැකියාවකම ඉහළම මට්ටමේ දක්ෂතා දක්වන්නෙත් හැකියාව හා කැමත්ත දෙකම එකතුවූ සේවකයනෙගෙන්. වක්‍රව බැලුවොත් ශක්තිමත් ජාතියක් ගොඩනැගීමටත් හේතුවෙන්නෙ මේ නිසි පුද්ගලයන් නිසි රැකියාවට යොමුකරවීමට වැඩපිළිවෙලක් සැකසීමෙන්. 

Comments

  1. අකමැත්තෙන් රස්සාවක් කරන්න වීම හරිම අප්‍රසන්න දෙයක් බැංකු නිලධාරියෙක් වෙන්න සිද්ධ උනත් මගේ හිතේ ඇත්තම ආශාව තිබුනෙ ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න ,ළමයින්ට මම දකින ලෝකෙ පෙන්වන්න,මම දකින දේ කියාදෙන්න ,නිදහස් චින්තනයක් ඇති මිනිහෙක් වෙනහැට් කියා දෙන්න.අදටත් හිතෙනව එහෙම උනානම් කොයිතරම් දෙයක් ළමයි වෙනුවෙන් කරන්න තිබුනද කියල. සමහර වෙලාවල්වලදි කල්පනා කරද්දි හිතෙනව ජීවිතේ ආශාවෙන්ම කරන්න තිබුන දෙයක් අතෑරිල ගිහිල්ල රස්සාව කියල ලොකු අවධානමකුයි පීඩනයකුයි තියෙන දෙයක් ලංකරගෙන කියල

    ReplyDelete
    Replies
    1. ඒකෙන්ම තමා ඉගෙන ගත්තේ අපි ජීවිතය පුරාවටම කරන්න ඔනේ අපි ආශකරන දේවල් කියල

      Delete
    2. අපේ සතුට තියෙන්නෙ පොඩි පොඩි දේවල් ඇතුලෙ. අපි ඒ සතුට වෙනුවට ලොකු ලොකු දුක් කඳු බදාගන්නවා.

      Delete
  2. මම පොඩි කාලෙ ලේඛකයෙක් වෙනව කිව්වම අම්ම කිව්ව ලේඛකයෙක් වෙල හිඟා කාපං කියල.
    යාළුවොන්ට ඒ ඩ්‍රීම් ජොබ් එක කිව්වම හිනාවුණා..
    ඒ අනුව මම තාවකාලිකව ලෝයර් කෙනෙක් වෙන්න හිතුව.
    ඒත් මම දැං ලේඛකයෙක්.
    මම කැමති දේවල් මම කරනව. ඒකට මට ඔෆිස් එකෙන් පඩි ගෙවනව

    ReplyDelete
    Replies
    1. තමන් කැමති දේවල් ලැබීම වාසනාවක්

      Delete
    2. උදේට නැගිට්ටම වැඩට යන්න හිතෙන ජොබක් කරනවනම් හරිම වාසනාවන්තයි

      Delete
  3. අපේ තාත්තා වැඩකලේ රෝහලක, මම එක දාගෙන එහෙමෙහෙ යන දොස්තරලට හරි ආසයි. මෙඩිසින් යන්ඩ බැරිඋනත් මට සුදු කබා අදින රස්සාවක් ලැබුණා ...

    ReplyDelete
  4. මගේ සිහින රැකියාව කියල එකක් නැහැ ...ලංකාව , ලෝකේ වටේ සීමාවක් නැතිව නිදහසේ ඇවිදින්න පුළුවන් ඕනෑම රැකියාවක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉංගිරිසි රස කතා

මායා