ඇගේ ඇස අග සහ ලස්සනට ජීවත් වීමේ කලාව.


හඳගමගේ චිත්‍රපටයක් නිකුත් විම සාමාන්‍යයෙන් ලංකාවෙ සදාචාරවත් දෙදාස් පන්සීයේ සමාජය (බන්දුලගෙ 2500ය නොවේ) බියෙන් හා ත්‍රාසයෙන් සලිත කරවීමට සමත් පුවතකි. චිත්‍රපටයේ ප්‍රචාරක පටය නිකුත් වීමටත් ප්‍රථමව පටන් ගන්නා විචාරක ගල් මුල් එය ප්‍රදර්ශණයෙන් ගලවන තෙක්ම නොනැවතී දහසකුත් මාධ්‍ය තුල සැරිසරමින් මහජනතාවගේ සිත් තුල මහා හඳගම භීතිකාවක් නිර්මාණය කිරීම සෑම අවස්ථාවකම පාහේ දැකිය හැකිවිය. හදගම මෙවරත් එවැනි විචාරකයන්ට ඉණිමං බැඳදී සිත්සේ කැළෑ පැන හතරවට ගිනි තැබීමට අවස්ථාවක් උදාකරදී තිබේ. මින් පසුව දැක්වෙන කරුණු තුලින් සිනමා පටයේ අඩංගු සිදුවීම් විස්තර කෙරෙනා බැවින් තවමත් නැරඹා නොමැති අයෙක් නම් නැවුම් පෞද්ගලික රසාස්වාදයක් ලබනු පිණිස මෙය නොකියවන මෙන් ඉල්ලා සිටිමි.

ඇගේ ඇස අග තිරගත වන්නේ ලංකාවේ දේශපාලන ක්ශේත්‍රය එකගෙයි කෑමකට මුලපුරා ඇති වකවානුවකය. බෙලහීන පුද්ගලයන් සමූහයකට තම බලය රැක ගැනීමට අරගල කරගන්නවාට අමතරව ඵලදායී යමක් වෙනුවෙන් කැප කිරීමට කාලයක් නොමැතිවීමෙන් රටම එක තැන නවතා ඇති අවස්ථාවකය. මෙම අවස්ථා සම්බන්ධයත් සිනමා පටයේ ප්‍රධාන තේමාව හා අපූරු ආකාරයෙන් බද්ධ වන ආකාරයක් පෙනීයනවා. ඉහල මධ්‍යම පාන්තිකයැයි සිතිය හැකි  මැදි වියැති විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක්, දිනපතා බුදුන් වඳිනා ඔහුගේ බිරිඳත්, දිග ගවුම් අදිනා තනිව වෙසෙනා විශ්ව විද්‍යාල සිසුවියකගේ චරිතයත් මූලික කරගත් ඔවුන් තිදෙනාගේ මානව සබදතා පිළිබද දිග හැරුමක් ලෙස සිනමා පටය හැදින්විය හැක.
කථිකාචාර්ය වරයා නිහඬ පුද්ගලයෙක් වන අතර, බිරිද හා සම්බන්ධය දිනපතා වචන කිහිපයකට සීමා කරන, දියණිය වෙනුවට දියණියගේ ආසනය සමග ගණුදෙනු කරන දියණියට “හායි” යනුවෙන් පමණක් අමතන සැබෑ ලෝකයෙන් එතරම් දුරස් නොවූ චරිතයකි. බිරිද ඔහු පැමිණෙන සෑම විටම බුදුන් වදිමින් සිටින, සැමියාගේ සපත්තු යුගල හා කමිසය නිසි පරිදි ස්ථානගත කර තුවාය ඔහුවෙත ලබාදී පුරුද්දක් වශයෙන් සැමියාට සේවය කරනා සැබෑ ලෝකයෙන් එතරම් දුරස් නොවූ චරිතයකි. දියණිය සැම විටම රූපවාහිණිය නරඹන, පියාට “හායි” කියමින් පවුලේ තමන්ද සිටින බව පෙන්නුම් කරනා වර්ථමාන නව යෞවනයෙන් දුරස් නොවූ චරිතයකි. සිනමා පටයේ දැක්වෙන චරිත අතුරින් අනාවැකි පල කල නොහැකි අසංවිධිත ජීවන රටාවෙන් යුත් එකම චරිතය සිසුවියගේ චරිතයයි. ඇයි කථිකාචාර්ය වරයාට ඇලුම් කරන අතර ඔවුන්ගේ සම්බන්ධයේ සෑම සිදුවීමක්ම ඔහුගේ බිරිදට දුරකථනයෙන් දැනුම් දෙමින් තම අරමුණට ලඟාවීමට කටයුතු කරයි. බිරිදට මෙම අනියම් සම්බන්ධයේ ඇති එකම විරෝධය ප්‍රසිද්ධ ස්ථාන වලදී මොවුන් දෙදෙනා යමෙක් දැකීමෙන් සැමියාට විය හැකි අවනම්බුවට පමණක් ලගු වෙයි. සිසුවිය නිවසට කැදවාගෙන ඒමෙන් පසුවත් එම භීතියට හේතුව නවතාලීමට ඇය අසමත්වේ. මහාචාර්යවරයා හා සිසුවිය අතර සම්බන්ධයට ඇයගේ විරෝධයක් පල නොවන අතර සිසුවිය සමග කිසිදු ප්‍රතිරෝධයකින් තොරව ඇයව ඉවසා දරාගැනීමට කටයුතු කරනා ආකාරයද පෙන්නුම් කෙරෙනවා.  හැමදාම වගේ හදගම මෙහිදීද සැබෑ කතාව ප්‍රේක්ශකයාට දැනුම් දෙන්නේ දෙබස් වලින් තොර නිහඬ සිදුවීම් රාශියකින්. සිසු පෙම්වතිය නිවසට පැමිණීමෙන් පසු දිනයක මහාචාර්යවරයා නින්දෙන් සිටිනා අවස්ථාවක ඔහුගේ ප්‍රාණවත් ශිෂ්ණය දැකීමෙන් ඔහුගේ බිරිද තුල පෙන්නුම් කරනා තිගැස්ම හා පළමු දරුවා ලැබීමෙන් අවුරුදු ගණනාවක් යනතුරු දරුවන් නොමැතිවීම යන කාරණා තුලින් මාහාචාර්ය වරයාගේ යම් දුර්වලතාවයක් ගැන නිගමනය කිරීමට හදගම ප්‍රේක්ෂකයාට ආරාධනා කරනාවා. මෙම ප්‍රාණවත්වූ ශිෂ්ණයෙන් තම සබදතාවයද අලුත් කර ගැනීමට බිරිද දරණ උත්සාහයට මහාචාර්යවරයාගෙන් දිරි ගැන්වීමක් නොලැබේ. සිසුවිය හා කථිකාචාර්ය වරයා අතර සැබෑ ලෝකයේ ගණුදෙනුව ලිංගික එක්වීමක් දක්වා ගලායාමක් ලෙස පෙන්නුම් නොකිරීමට හදගම වග බලා ගන්නවා. සිනමාපටයේ සිදුවන එකම ලිංගික එක්වීම සැබෑවක්ද නැතහොත් සුවඳ විලවුන් කුප්පියෙන් මතුවන මායාවක් දැයි ප්‍රේක්ෂකයාට තෝරා බේරා ගැනීම අපහසු දෙයක් නොවේ. හදගම මෙහිදී මෙතෙක් කිසිදු සිනමා පටයක අප විසින් දැක නොමැති ආකාරයට ඇද ඇතිරිල්ලේ සිදුරක් තුලින් කැමරාව රිංගවා ඔවුන් දෙදෙනාගේ ලිංගික එක්වීම පෙන්නුම් කිරීමක් කරනවා. මනා පසුබිම් සංගීතයත් නවමු කැමරා කෝණත් චිත්‍රපටය පුරාවට ප්‍රේක්ෂකයා වෙහෙසීමකින් තොරව සිනමා පටයට ඇද බැද ගැනීමට සමත් වෙනවා.

මුලු සිනමාපටයෙන්ම මට දැනෙනා සුවිශේෂීම දර්ශණය නම් අවසාන අවස්ථාවේ පන්සල තුල සිදුවන ක්‍රියාදාමයයි. සිනමාපටය තුලින් හදගම පැවසීමට උත්සාහා කරනා දෙය සැඟවී ඇත්තේ මෙම දර්ශනය තුල විය හැක. සමාජයේ යම් බලවත් පුද්ගලයෙකුගේ බිරිද හා ඔහුගේ අනියම් බිරිය අතර සිදුවන අරගලයක් වන මෙහිදී එම අරගලය නවතාලීම පිණිස ස්වාමීන්වහන්සේ නමක්  මෙම ශුද්ධ භූමිය කෙළසන්නෙ නැතුව පිටවෙන්න යනුවෙන් කෑගසයි. මහාචාර්යවරයා, බිරිද හා සිසුවිය යන තිදෙනාම එවිට එම පන්සලේම අරගලයකින් තොරව වන්දනාවේ යෙදී සිටීම ප්‍රේක්ෂක මනසට යම් ආකාරයක සිනහවක් ලබා දීමට සමත් වනවා. මෙම දෙබසින් අද සමාජය බලාපොරොත්තුවන්නේ කුමක්දැයි මනාවට පිළිබිඹු කෙරෙනවා. 

සිනමා පටයේ අවසානයේ නාමාවලිය සමග ඇසෙනා චිත්‍රාල්ගේ  “ඇහැරෙන්න” ගීතයට සවන් දෙමින් කල්පනාවක නියැලෙන්නටද ප්‍රේක්ෂකයාට අවස්ථාවක් ලබා දී ඇත.

අවසානයේදී පැවසිය හැක්කේ හඳගම මෙවරද මෙම ශුද්ධ භූමිය කෙළසා නොමැති අතර මේ ශුද්ධ භූමියේ කතාවස්තුවක් පමණක් ගෙනහැර දක්වා ඇති බවයි.


Comments

  1. දැන් ඉතින් බැලුවේ නැතත් මොකෝ නේද????

    ReplyDelete
  2. ෆිලුම් එක ගැන කියෙව්ව දෙවෙනි පෝස්ට් එක..

    ෆිල්ම් එක බලන්ඩම ඕනෙ කියලයි කියවෙන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. බලපන් අනිවා සෑමෝ

      Delete
  3. ෆිල්ම් එක සීමිත දවස් ගානයි නේද පෙන්නන්නේ?

    ඒ උනත් ඉතින් ඈත ඉන්න අපි කොහොම බලන්නද.

    ReplyDelete
  4. ලියලා තියන විදිහට බලන්නම ඕනේ, හැබැයි කොහොමද කියන තමා ගැටලුව ...

    ReplyDelete
    Replies
    1. you can watch now in internet. have to pay $4.99.

      Delete
  5. අර එලිජි එක බලලම මේක බලනවා. විචාරය අනුව නම් නරක නැහැ.

    ReplyDelete
  6. /* ඇද ඇතිරිල්ලේ සිදුරක් තුලින් කැමරාව රිංගවා ඔවුන් දෙදෙනාගේ ලිංගික එක්වීම*/

    ඒ පෙන්වන්නේ ස්වයං වින්දනය කරන අවස්ථාවක් කියා යි නට හිතුනේ.

    ReplyDelete

Post a Comment